Ek Pethi Malak – Song Review & Lyrics.

බන්දුල නානායක්කාරවසම් මහතා විසින් ලියැවුනු, රෝහන ශාන්ත බුලේගොඩ මහතා විසින් ගායනා කෙරුනු “එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට” ගීතයේ අරුත සරල බසින්.

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකටEk pethi malak viya numba mage ath dekata
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට

විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසින

සිටිනා කොදෙව්වක නුඹ් සැප විඳී නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

මට හැඟෙන විදිහට මේ ගීතයෙන් කියවෙන පෙම්වතා තරමක් ආත්මාභිමානයෙන් යුත් කෙනෙක්. ඔහු ගමේ යමක් කමක් තියෙන, යම් ස්ථාවරයක සිටින හෝ තමා ගැන තරමක් ඉහලින් සිතා සිටින කෙනෙක්.
“එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට” සාමාන්‍යයෙන් මලක් කිවුවහම අපේ සිතේ ඇඳෙන්නෙ සමබරව පෙති පිහිටි ඒකාකාර මලක චිත්‍රයක්. නමුත් මේ පෙම්වතා දන්නවා තමන් ආදරය කල මේ ගැහැනු ළමය රූමත් සර්ව සම්පූර්ණ කෙනෙක් නොවන බව.”නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට” ඒ වගේම ඇය බොහොම පහසුවෙන් තමන්ගේ කරගන්න හැකියාව තිබුනත් ඔහු එසේ කරන්නෙ නෑ. මේ පිලිබඳව යම් පසුතැවීමක් තිබුනත් ඔහු තමන්ගෙ සිත සනසාගන්න / සාධාරණීකරනය කරන්න උත්සාහ කරනව.

“හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට”
සමුගෙන යන මොහොතක ආදරය කළ කෙනෙක් දැකීමෙන් වෙන්වීමේ වේදනාව වැඩි වෙනව. විරහවෙන් සිටින කෙනෙකුට ඔහු ආදරය කල තැනැත්තියගේ මතකය දනවන්නෙත් එවැනිම වේදනාවක්. ඔහු විමසා සිටිනව ‘ඔබ ගම හැර ගිය දිනයේ මා ඔබට සමු දෙන්නට නොපැමිනියා නම්, ඔබ ඇයි මගේ සිත අද්දරට පැමිණ මේ විරහ වේදනාව තවත් වැඩි කරන්නෙ කියල.

“විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම”
‘ඔබ මා වැනි කෙනෙක් අත්හැර ගමෙන් ගිය කාරණය ගමේ අයට තවමත් පුදුමයක්’. මේ ඔහුගේ පළමු පෙම. නමුත් ඇය තමා සතු කරගන්න ඔහු අසමත් වෙනව. මේ අසමත් වීම ගැන සිතමින් තවත් නොහඩන්න කියල තම සිතට කියනව.

“සිටිනා කොදෙව්වක නුඹ් සැප විඳී නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්”
කොදෙව්වක් කියන්නෙ කුඩා දූපතක්.මේ පෙම්වතාගේ ආදරයට සාපේක්ශව ඇගේ නව ජීවිතය කුඩා වපසරියක් බව ඔහු දන්නවා. ඒ කුඩා වපසරිය තුල හෝ ඇය සැප විඳී නම්. තමන්ගෙන් ඇයට ලැබුනු ආදරයත් නොඅඩුව ලැබෙනව නම්, තමා පිලිබඳ මතකය ඇයට හිරිහැරයක් නොවෙයි නම්, තවදුරටත් දුක් ගී කල්පනා කරන්නෙ නැහැ.”තව කුමකටද දුක් ගී කල්පනාවන්..”

 Click here to download ‘ek pethi malak viya’ mp3 song by Rohan Shantha Bulegoda

Play online:

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *