කර්මය- Karma

ජීවිතයට සැප දුක් වේදනා ලබා දෙමින් පුද්ගලයා අනුව ලුහුබඳින එකම ශක්තිය කර්මයයි. කර්මයට යටත් නොවන අයෙකු විශ්වයේ කොතැනකවත් නැත. ජාති, කුල, ආගම්, පක්‍ෂ භේදයකින් තොරව කුමන තරාතිරමක අයෙකුට වුවත් කර්මයට මුහුණ දෙන්න වෙනවා.
දුගී පැල්පතේ සිට මහා මන්දිරවල සැප විඳින රජතුමා දක්වා සහ අන්ධ බාල පෘථජ්ජනයාගේ සිට සිත දියුණු කිරීමෙන් සියල්ල අවබෝධ කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දක්වා මේ සියල්ලන්ගේම පසුපස සෙවණැල්ල සේ පැමිණ විපාක දෙන කුසල් අකුසල් කර්ම පිළිබඳ සමාජයේ බොහෝ අයට අවබෝධ අඩුයි.

Boo Leaves, Karma explanationදුකේදී කනස්සලු වී පිහිට ඉල්ලා යදිමින් නොපෙනෙන බලවේග පසුපස හඹා ගොස් දේවාල ගානේ රස්තියාදු වී අමනුස්සයන් සරණ යන්නේ කාලය, ශ‍්‍රමය, ධනය නැති නාස්ති කර ගනිමින් පශ්චාත්තාප වන්නේ කර්මනියාමය ටිකක් හෝ තේරුම් නොගත් නිසයි. කර්මයේ තතු ජන සමාජය වෙත සමීප කරන්නට කර්මය යනු කුමක්දැයි අප නා උයනේ අරියධම්ම නාහිමියන්ගෙන් විමසූ විට ඊට ලැබුණ පිළිතුරු මෙසේය.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සර්වඥයන් වහන්සේ නමක් හැර අන් කිසිම කෙනෙකුට සිතා මතා තීරණය කළ නොහැකි කාරණා හතරක් සිතා නිමකිරීමට නොහැකි නිසා ඒවාට කියනවා “අචින්තනීය” ධර්ම කියලා. ලෝක විෂය, සත්ත්ව විෂය, බුදුරජාණන් වහන්සේගේ සෘද්ධි විෂය සහ කර්ම විෂය මේවා සිතා නිමකරන්නට බැහැ. නමුත් සර්වඥයන් වහන්සේ දෙසූ ආකාරයෙන් අපට තේරුම් ගන්නට පුළුවන්.
ති‍්‍රපිටක ධර්මයෙහි මේ කර්මය පිළිබඳව විස්තර රාශියක් තිබෙනවා. අපි එය කෙටියෙන් විමසා බලමු. කර්මය කියන්නේ අපේ සිතේ පහළවෙන චේතනාවයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරොති කායේන වාචාය මනසා” කියලා බුද්ධ වචනයක් තියෙනවා. මහණෙනි, කර්මය කියන්නේ චේතනාවට කියා මම කියමි යන්න එහි තේරුමයි. අපි චේතනාව කියන්නේ කුමක්ද? කියා පැහැදිලි කර ගනිමු.
චේතනාව කියන්නේ අපේ සිතේ පහළවෙන චෛතසික ධර්ම පනස් ;දකෙන් එකක්. අපේ සිතේ පහළ වෙනවා චෛතසික ධර්ම පනස් දෙකක්, ඒවා

සර්ව චිත්ත සාධාරණ
1) ප‍්‍රකීර්ණක
2) අකුසල
3) සෝභන
4) විරති
5) අප්ප මඤ්ඤා
6) ප‍්‍රඥා
යනුවෙන් කොටස් කරන්නට පුළුවන්. මේ පනස් දෙකෙන් සර්ව චිත්ත සාධාරණ හත සෑම සිතක් පාසාම යෙදෙනවා. කුසල්, අකුසල්, විපාක කි‍්‍රයා හැම සිතකම පහළ වෙනවා. අපි ඇස්පිය හෙළනවා කියලා හිතමු. ඒක කායික කි‍්‍රයාවක්. එතැනත් චේතනාව තියෙනවා. ඇසින් රූපයක් බලන විට කනින් ශබ්දයක් අසන විට එතැනත් චේතනාව තියෙනවා. ගඳක් සුවඳක් විඳිනකොට රසක් නීරසක් විඳිනකොට ස්පර්ශයක් ලබන විට මේ සෑම විටම චේතනාව තිබෙනවා. පියවර තබන කොට ඇවිදින විට මේ සියලු කායික කි‍්‍රයාවක් පාසා සෑම වචනයක් පාසා සෑම සිතිවිල්ලක් පාසා චේතනාව තිබෙනවා. ඒ චේතනාව කොටස් දෙකකට බෙදෙනවා.

1. සහජාතා වේතනා
2. නානාත්ථක චේතනා
සහජාත චේතනා සෑම සිතකම යෙදෙනවා. සහජාත කියන්නේ එකට උපදින කියන එකයි. සිතත් එක්ක එකට ඉපදෙන්නෙ සහජාත චේතනාවයි. මතු විපාක ගෙන දෙන සුගති දුගතිවල දුක් සැප ලබාදෙන චේතනා විසිනවයක් තියෙනවා. අන්න ඒකට කියනවා නානත්ථක චේතනා කියල. විපාක සිත් තියෙන්නේ සියල්ල තිස් දෙකක්. කි‍්‍රයා සිත් විස්සක් තියෙනවා. මේ සිත් පනස් දෙකේ චේතනා මතු විපාක දෙන්නෑ. සිත සමඟ එක්වී කි‍්‍රයාකාරීත්වයක් සිදුකරනවා පමණයි. මේ චිත්ත පනස් දෙකේ චේතනා මතු විපාක දෙන්නෑ. සිත සමඟ එක්වී කි‍්‍රයාකාරීත්වයක් සිදුකරනවා පමණයි. මේ චිත්ත චෛතසික ධර්ම කි‍්‍රයාකාරීත්වයට පමුණුවන්නේ චේතනාව විසිනුයි. මතු විපාක දෙන චේතනා විසිනවය මෙසේ බෙදා ගනිමු.
අකුසල් සිත් දොළහයි (12)
ලෞකික කුසල සිත් දාහතයි (17)
(කාමචර 8 යි, රූපවචර 5, අරූපවචර 4 යි)

මේ සිත් 29 හි චේතනාව මතු විපාක ගෙන දීමට සමත් වෙනවා. මේ චේතනාව බෙදන හැටි.
දැන් අපි ඇහෙන් යමක් දකින අවස්ථාවක් බලමු. ඒ දැකීම සිද්ධ වෙන්නෙ විපාක සිතෙන්, එයට කියන්නේ චක්ඛු විඥාන සිත කියලා. ඉස්සරලම අප දැක්ක රූපය අරමුණු කර චක්ඛුද්වාරික චිත්ත වීථියක් පැවැත්තුව. ඊළඟට මනෝද්වාරයෙන් ඒ සිතින් ගත්ත අරමුණු නැවත නැවත වී මනෝද්වාරික චිත්තවීථියක් පහළ වෙනව. සතර වෙනුව ඒ දැක්ක දේ පිළිබඳව අරමුණු වැටහෙන චිත්ත වීථියක් පහළ වෙනවා. අනතුරුව තමයි දැක්ක දේ ලස්සන නම් හරි ලස්සනයි, හරි වටිනවා, මේක මට ගන්න ඕන, අයිති කර ගන්න ඕන යනාදී වශයෙන් ලෝභ සිතක් පහළ වෙන්නේ. අන්න දුටුව දෙයින් ඇලීම් ඇතිවුණා එවිට අකුසල චේතනාවක් සම්පූර්ණ වුණා.

අවලස්සන දෙයක් නම් අපි‍්‍රය අමනාප අයෙක් නම් අහක බලාගන්ඩ ඕන වෙනවා. නපුරු සිත් පහළ වෙනවා. ඊර්ෂ්‍යාව පහළ වෙනවා. එවිට ද්වේෂ සහගත අකුසල චේතනා සම්පූර්ණ වෙනවා. මුලින්ම රූපය දකින විට පහළ වුණේ තදබල අකුසල සිතක් නොවේ. තදින්ම අකුසල සිත පහළ වුණේ ඇලීම් හෝ ගැටීම ඇතිවීම නිසයි. එවිට අකුසල කර්මය සම්පූර්ණ වෙනවා.

කුසල පැත්තෙනුත් එහෙමයි. දැන් අප දකිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් නැත්නම් භික්ෂූන් වහන්සේ නමක් එහෙමත් නැත්නම් චෛත්‍ය බෝ මළු වැනි පූජනීය ස්ථානයක්. එවිට ශ‍්‍රද්ධාවන්ත කෙනෙකුට නම් ඉස්සර වෙලාම ඇහින් දකින චිත්ත වීථිය පහළ වෙනවා. ඊළඟට මනෝද්වාරයෙන් චිත්ත වීථිය පහළ වෙනවා. තුන්වෙනුව නම තීරණය කර ගන්න චිත්ත වීථිය පහළ වෙනවා. ශෝබන සහගනත චිත්ත වීථියක් සතර වෙනුවට පහළ වෙනවා. පස්වෙනුව පහළ වූ චිත්ත වීථියයි බලවත් වෙන්නෙ. මේ අනුව ජවන් සිත්වලදී තමාගේ සිතේ පහළ වන චේතනා කුසල් අකුසල් කර්ම බවට පත්වෙන බව අප තේරුම් ගත යුතුයි.
බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව සුත‍්‍රාන්ත පිටකයේ දොළොස් ආකාරයකට දේශනා කරලා තියෙනවා. ඒවා කෙටියෙන් අපි මෙසේ සලකමු.

සූත‍්‍ර පිටකයේ ආකාර දොළහා මෙහෙමයි.
ගරුක, ආචීර්ණ, ආසන්න, කටත්තා කියලා විපාක දීමේ අනුපිළිවෙළ අනුව කොටස් හතරයි. දිට්ඨ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය සහ අහෝසි යනුවෙන් විපාක දෙන කාල අනුව හතරයි.

ජනක, උපත්ථම්භක, උපපීලක, උපඝාතක කියලා විපාක දෙන ආකාර අනුව හතරයි.
ගරුක කර්මය කියන්නේ අකුසල පැත්තෙන් පඤ්ච ආනන්තර්ය කර්ම සහ නියත මිත්‍යාදෘෂ්ඨියයි. ආනන්තරීය කර්මයෙන් හෝ නියත මිත්‍යාදෘෂ්ඨියෙන් යුක්ත නම් මරණාසන්න මොහොතේ දී අනිවාර්යයෙන් ඒ කර්මය ඉස්සරහට පැමිණ අවීචියට ම ගෙනියනවා. අවීචියට යෑමට ගමන් බලපත‍්‍රය ලැබෙන්නේ මේ පඤ්ච ආනන්තරිය කර්ම නිසා. සිත් රූපාවචර, අරූපාවචර ධ්‍යාන බවට පත්වූවා නම් එය ගරුක කුසල කර්මයයි. අනිවාර්යයෙන් ඒවා සිහිවී සුගතිගාමී ;වනවා. මෙසේ බලවත්ම කුසලාකුසල කර්ම “ගරුක කර්ම” ලෙස හඳුන්වනවා.

ආසන්න කර්මය කියන්නේ යමෙක් මරණාසන්න මොහොතට පත්වී ඉන්න වෙලාවෙ නුවණැති කල්‍යාණ මිත‍්‍රයෙක් ඔහුට කුසල් සිත් පහළ කර ගැනීමට උදවු වෙනවා. සංඝරත්නය වැඩම කරවල බණ කියනවා. පිරිත් දේශනා පවත්වනවා. එම කුසල් අරමුණු වීමෙන් මරණාසන්න අවස්ථාවේ පින් සිතුවිලි වැඩී සුගතිගාමී වෙනවා. අකුසල් පැත්තත් එහෙමයි. තමන් පාපයක් කරගෙන තිබුණා නම් එය මරණාසන්න මොහොතේ සිහි වී ආසන්න කර්මය බවට පත්වෙනවා. ඉන් දුගතිගාමී වෙනවා.

ආචීර්ණ කර්මය කියන්නේ තමා ජීවිතයේදී වැඩිපුරම පුරුදු පුහුණු කළ දේවල්. යමෙක් දිනපතාම බුදු ගුණ වඩල තියෙනවා නම් ඔහුට මරණාසන්න මොහොතේ බුදු ගුණ සිහිවෙනවා. යමෙක් දිනපතාම මෛතී‍්‍ර වඩල තියෙනව නම් මරණාසන්න මොහොතේ ඔහුට අරමුණ වන්නේ මෛතී‍්‍රය. යමෙක් නිතර පිළිකුල් භාවනාව වඩල තියෙනව නම්, විපස්සනා භාවනා වඩල තියෙනව නම්, බුද්ධ පූජා පවත්වල තියෙනව නම් මේ විදියට තමා වැඩිදුර පුරුදු පුහුණු කළ දේ මරණාසන්න මොහොතෙදී සිහිපත් වෙලා සුගතියට යනව. අකුසල පැත්තෙන් යමෙක් වැඩිදුර සතුන් මරල තියෙනව, වඩාත් බොරු කියල තියෙනව, වඩාත් සුරා පානය කරල තියෙනව, වඩාත් පස්පව් දස අකුසල් හී යෙදී තියෙනව නම් මේවා අවසන් මොහොතෙ සිහිවී අපායට යනව, මේවාට කියන්නේ ආචීර්ණ කර්මය කියල.

කටත්තා කර්මය කියන්නේ ගරුක කර්මයකුත් නැතිනම් ආසන්න කර්මයකුත් නැතිනම් ආචීර්ණ කර්මයකුත් නැතිනම් මේ ජීවිතයේ දී සිදුවී අමතක වූ කර්ම තියෙනවා පෙර ජාතිවල අපරාපරීය වශයෙන් පැමිණෙන කර්ම තිබෙනවා. එබඳු කර්මයක් පැමිණ පටිසන්ධි ගෙන දෙනවා. ඒවාට කියනවා කටත්තා කර්ම කියලා. මේ විපාක දීමේ අනුපිළිවෙළ අනුව කර්මය සතරාකාර වන අයුරු විපාක දෙන ආකාර වශයෙන් ද සතරාකාර වෙනවා. (ජනක, උපත්ථම්භක, උපපීලක, උපඝාතක) ඉන් කෙනෙකුගේ පටිසන්ධිය ගෙන දීමට සමත් කර්මය ජනක කර්මයයි. පටිසන්ධි ලබාගත්තට පස්සෙ ඒ ජීවිතය පවත්වා ගැනීම සඳහා උපකාර වන කර්මය උපත්ථම්භක කර්මයයි. මේ දෙක හරියට මවයි කිරි මවයි වගේ. මව තමා දරුවෙකු කුසේ දරාගෙන බිහිකරන්නේ. කිරි මව තමා ඒ දරුව හදා වඩාගන්නේ. ඒ වගේ ජනක කර්මයෙන් උප්පත්තිය ලබනවා. උපත්ථම්භක කර්මයෙන් සැපවත් බවට පත්වෙනවා.
උපපීලක කියන්නේ විරුද්ධ කර්ම කුසල විපාකයෙන් උපන්න මනුස්සයාට අකුසල විපාක එනවා. රෝගාබාධ සතුරු කරදර ධන හානි මෙසේ නොයෙක් විදියට කරදර ජීවිතයට පැමිණෙනවා. මේවා තමා උපපීලක කර්ම කියන්නෙ.

උපඝාතක කියන්නෙ උප්පත්තිය ලබා දුන් ජනක කර්මයේ ශක්තිය මේ ජීවිතයේ දී හෝ සසර දී කර ගත් භයානක කර්මයක විපාකයක් ඇවිල්ල ජීවිතක්‍ෂයට පත් කරනවා. පහනක තෙලුයි වැටියයි දෙකම තිබියදී සුළඟක් ඇවිත් පහන නිවී යන්නා වගේ එබඳු කර්මවලට කියන්නේ “උපච්ඡේදක” හෙවත් උපඝාතක කර්ම කියල. මෙසේ විපාක දෙන ආකාර අනුව කර්මය සතර ආකාර වෙනවා.
මීළඟට විපාක දෙන කාල වශයෙන් ද මෙසේ සතර ආකාරයට බෙදෙනවා. දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපජ්ජවේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම සහ අහෝසි කර්ම වශයෙනි.

අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *